Sunday, August 8, 2010

සංචාරක ව්‍යාපාරය නව ඉතිහාසයක්‌ ලියයි

Posted by The Editor at 3:18 AM
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය රාමායණ කතාන්දරය ඇත්තක්‌ ලෙස ප්‍රචාරය කරතැයි පළමුවරට මා දැනුවත් කරන ලද්දේ නවදිල්ලියේ පැවති අන්තර්ජාතික සම්මන්ත්‍රණයක රාත්‍රි භෝජන සංග්‍රහයකදී ඉන්දියානු විද්වතෙකු විසිනි. ඉන්දියානු බුද්ධිමතුන් සැබෑ පදනමක්‌ නොමැති රාමායණය සලකන්නේ හින්දු අන්තගාමී, මූලධර්මවාදී අවියක්‌ ලෙසය.


පෙරළා පැමිණි වහාම අපේ සංචාරක අධිකාරියේ "රාමායන සංචාරය" (Raප්හ්බ්හ් ඔර්සක) ගැන විමසා බැලීමෙන් පසු මම මවිත වූයෙමි. රාම ගමන් මඟ ලෙස නිර්මිත ව්‍යාජ ස්‌ථාන ද්‍රවිඩ පාරම්පරික නිජබිම් මිථ්‍යාව සිහිගන්වයි. මේ සම්බන්ධයෙන් රාජකීය ආසියාතික සංගමය මගින් විද්වතුන් සමග වැඩමුළුවක්‌ පැවැත්වීය. විවිධ ශාස්‌ත්‍රීය ක්‌ෂේත්‍ර නියෝජනය කළ එම විද්වතුන්ට එනම් පුරාවිද්‍යාව, අක්‌ෂර විද්‍යාව, ඉතිහාසය, සිංහල, පාලි හා සංස්‌කෘත, සාහිත්‍යය එම රාමායණය මිථ්‍යා නිර්මාණය පුළුල් ලෙස ප්‍රචාරය කිරීමේ භයානකත්වය පෙනී ගියේය. එය වටා ගෙතූ ව්‍යාජ සිංහල කෘති, චිත්‍රපට හා වෙබ් අඩවිද වෙයි.

මෙම ක්‍රියාපටිපාටියේ අනික්‌ පැත්ත දැනගනු පිණිස සංචාරක අධිකාරියේ ප්‍රධානීන්ට ඇරැයුම් කළද ප්‍රතිචාරයක්‌ නොලද නිසා රාජකීය ආසියාතික සංගමය විසින් සංවිධානය කෙරෙන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට සහභාගි වන්නැයි සංචාරක අධිකාරියේ ඒ ඒ අංශ ප්‍රධානීන්ට වෙන වෙනම දැන්වූයෙමු. එහෙත් සත්‍යයට බය වී කිසිවෙකු පැමිණියේ නැත.

මෙම නිර්මාණය සඳහා සංචාරක අධිකාරිය සමග බැඳීම් ඇති අයගෙන් එක්‌ අයෙකු පැමිණ සිටි බව දැනගන්නට ලැබිණි.

ඔහු විසින් කරන ලද විශ්මය ජනක ඊනියා ගවේෂණ ප්‍රතිඵල විස්‌තර කරන වෙබ් අඩවියක්‌ද නිර්මාණය කොට ඇත. රාම ගමන් මාර්ගයේ ඊනියා විශ්මයජනක සලකුණු හෙළි කරමින් ප්‍රබන්ධ ලියූ පිරිසක්‌ කණ්‌ඩායමක්‌ වශයෙන් පැමිණ සම්මන්ත්‍රණ ශාලාව තුළ විසිරී අසුන්ගෙන ඇතැයි මට දැනගන්නට ලැබුණි. තමන් හින්දු මූලධර්මවාදීන්ට කත් අදින බව මෙම රාමායණ පක්‌ෂපාතීහුද නොදැන සිටි බව අනුමාන කළ හැක.

විශේෂඥ දේශන අවසානයේ සාකච්ඡා වාරයේදී ප්‍රශ්න නඟන්නන් තම නම හා ඒ ඒ ක්‌ෂේත්‍ර සම්බන්ධයෙන් තමා සතු ශාස්‌ත්‍රීය පසුබිම සඳහන් කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. තමාට ජර්මනියෙන් ලත් ආචාර්ය උපාධියක්‌ ඇතැයි කියා සිටියෙකු ප්‍රශ්නයක්‌ නැඟූ විට මා හොඳින් ප්‍රගුණ කර ඇති ජර්මන් බසින් ඇමතූ විට එය තේරුම් නොගත් ඔහු, තම ආචාර්ය උපාධිය ලැබුණේ ජපානයෙන් යෑයි කීවෙන්, එවිට මම ජපන් බසින් ඔහු ඇමතීමි. එය තේරුම් නොගත් ඔහු ඊළඟට කීවේ තම ආචාර්ය උපාධිය රුසියාවෙන් කියාය. මම නිහඬ වීමි.

ප්‍රාග් ඉතිහාසය, පුරාවිද්‍යාව, බෞද්ධ අධ්‍යයනය, සිංහල සාහිත්‍යය, අග්නිදිග ආසියාව යන ක්‌ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥයන් ඉදිරිපත් කළ කරුණුවලින් පැහැදිලි කරන ලද්දේ මුළු රාමායණය සංචාරයම ව්‍යාජ ප්‍රබන්ධයක්‌ බවත්, ඕනෑකමින්ම පුරාවිද්‍යාව විකෘති කිරීමක්‌ බවත්, බෞද්ධ දැක්‌මට පටහැනි වූවක්‌ බවත්ය. එමෙන්ම හිටපු තානාපති බන්දු සිල්වා මහතා පෙන්නා දුන් පරිදි ආක්‍රමණශීලී විදේශ බලපෑමක ආරම්භයක්‌ බවය.

හෑගොඩ විපස්‌සි ස්‌වාමීන් වහන්සේ කථා කරමින්, නිර්මාණය කරන ලද ව්‍යාජ රාමායණය ගමන් මඟට එරෙහිව කතා කිරීම නිසා තමන් වහන්සේට විඳින්නට සිදුවූ හිරිහැර විස්‌තර කළහ. මහාචාර්ය ඔලිවර් අබේනායක සහ මහාචාර්ය තිස්‌ස කාරියවසම් පෙන්වා දුන් පරිදි බුද්ධඝෝෂ හිමි රාමායණය මිථ්‍යාවක්‌ හා තිරශ්චීන කථාවක්‌ ලෙස නම් කළේය. එයට අවුරුදු දහසයකට පසු වීදාගම හිමි, රාම හනුමන් හාස්‌කම් අවඥවෙන් බැහැර කළේය. බුදු හිමි බැහැර කළ දෙසැට දෘෂ්ටීන් හා අනෙක්‌ හින්දු ධර්මයේ එන විශිෂ්ට චින්තන ධාරාව මෙන් නොව රාමායණය මිථ්‍යා කාව්‍යයක්‌ බව සඳහන් විය. 1990 දී හින්දු මූලධර්මවාදීන් බබ්‍රි මුස්‌ලිම් පල්ලිය විනාශ කළේ එම ස්‌ථානය රාමා උපන් භූමිය කියාය. පසුව ඉන්දියාවේ සේතු සමුද්‍ර ව්‍යාපෘතිය වැළැක්‌වීමට වෙර දැරුවේ එතැනද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක්‌ තිබුණු බව කියමිනි. මෙහිදී කොටින්ට ආශිර්වාදය දුන් තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්‌ෂය හින්දු මූලධර්මවාදීන්ගේ සේතු සමුද්‍ර ව්‍යාපෘති විරෝධයට පක්‌ෂපාත නොවීය. එයට හේතුව, රාමායණයෙන් කෙරෙනවා යෑයි කියන ආර්ය ශේ්‍රෂ්ඨත්වය හුවා දැක්‌වීමට ඩී.එම්.කේ. කවදත් විරුද්ධ වූ නිසාය. ඒ වෙනුවට රාමායණයේ අන්තර්ගතය විකෘති කොට රාවණා වීරයා ලෙස ඩී.එම්.කේ. න්‍යායාචාර්යවරුන් විසින් ඉදිරිපත් කරන ලදී.



සම්මන්ත්‍රණයට සහභාගි වූ සිංහල රාවණා පාක්‍ෂිකයන් කළේ හින්දු මූලධර්මවාදීන්ගේ රාමායණයත්, එයට ප්‍රතිවිරුද්ධ ඩී.එම්.කේ. පිළිගත් ද්‍රවිඩ වීරයා වන රාවණාත් යන මිථ්‍යා දෙකම බදාගැනීමය.



සේතු සමුද්‍ර විරෝධී බී.ෙ-.පී. අනුග්‍රාහකයකු මෙහිදී සිහියට නැඟේ. ඔහු මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන ඇමැති චෞහාන්ය. නොබෝදා අපේ මහාබෝධි සමාගම මොහු වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක්‌ පැවැත්වීය. ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වය පිළිබඳව බී. ෙ-. පී. දරන ස්‌ථාවරය කුමක්‌දැයි පහත දැක්‌වෙන ඉන්දීය පුවත්පත් සිරස්‌තල මගින් මනාව පැහැදිලි වෙයි. "ශ්‍රී ලංකාවට සම්බාධක බී. ෙ-. පී. අනුමත කරයි", "යුද්ධය නවත්වා කොටින්ට කථා කරන්නැයි ඉන්දියාව කොළඹට නියෝග කළ යුතුය" බී.ෙ-.පී. - "ඛඔඔE තහනම ඉවත් කරනු", බී.ෙ-.පී. - "ඉන්දියාවේ බී.ෙ-.පී, ජයග්‍රහණය කළ යුතු බව ඛඔඔE ය ප්‍රාර්ථනා කරයි." "හින්දු සම්මේලනය ශ්‍රී ලංකා හමුදාව කෙරේ සිය අප්‍රසාදය පළ කරයි."



ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නායක ඊනියා විශේෂඥයකු විසින් ඉන්දියාවේ ඉතිහාසඥයන් රාමායණයේ ඓතිහාසිකත්වය පිළිනොගන්නා බව කියා ඇත. (තුන්වැනි විශේෂඥයා පිටකොටුවේ කඩ කාරයෙකි. හින්දු මූලධර්මවාදී සංවිධානයක සභාපතිත්වය දරන ඔහු, තමා ඉන්දියානුවකු වීම ගැන ආඩම්බර වෙතැයිද, ඉන්දියානු ධජයට තම සහයෝගය පළ කරතැයිද පවසා ඇත.) මෙම ඊනියා විශේෂඥයා විසින්ම ප්‍රසිද්ධියට පත්කරන ලද ඔහු ලියූ පොතේ මෙසේ කියයි.

"රාමායණයේ සත්‍යතාව සොයා බැලීමට ඉන්දියාවේ ඉතිහාසඥයන් 14 දෙනකු පත්කරන ලදී. ජනප්‍රවාදයේ සඳහන් තැන් මිස, රාමායණයේ සත්‍යතාව ඔප්පු කිරීමට ඓතිහාසික සාක්‌ෂි කිසිවක්‌ සොයා ගැනීමට ඔවුහු අසමත් වූහ. එහෙත් රාමායණය ඔප්පු කිරීමට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සාධක තිබේ."

සම්මන්ත්‍රණයේ දී විද්වත් කථිකයන් විසින් මෙකී සියලු ව්‍යාජ සාධක සහ එම කමිටුව සැපයූ ඊනියා ඓතිහාසික ස්‌ථාන සියල්ල බිඳහෙළන ලදී.

සංචාරක බලධාරීන් විසින් නිර්මිත සාක්‌ෂි



හෙළදිව රජකළ රාවණා මිසයිල සහ න්‍යෂ්ටික බෝම්බ පළමුවෙන් සොයාගත් තැනැත්තා යෑයි කෙනෙක්‌ කියයි. අපේ හමුදාවට නම් මෙය හොඳ ආරංචියක්‌ වනු නිසැකය. දකුණු ඇමෙරිකාව හා දකුණු යුරෝපය රාවණා විසින් පාලනය කළ බවද කියා ඇත. මේවා සත්‍ය නම් ලෝක ශිෂ්ටාචාරයම හෙල්ලුම්කනු නියතය. රාවණාගේ ගුහා ලිපිද ඉදිරිපත් කොට ඇති අතර ඒවා ඔහුගේ සංචාරක බලධාරි කමිටුව විසින් කියවා ඡායාරූපගත කොට ඇත. එමගින් දැනට අවුරුදු 17500 කට කලින් පැවති අක්‌ෂර මාලාවක සාක්‌ෂිද සොයාගෙන ඇති බව ඔහු සඳහන් කරයි. එපමණක්‌ නොවේ. රාවණා ජීවත් වූ බවට සාක්‌ෂි ඔහු අනුරාධපුරයෙන් සොයාගෙන තිබේ යෑයි ඔහු පවසයි.

මේ සියල්ල මිථ්‍යා ප්‍රබන්ධ ලෙස අභිලේඛන විද්‍යාඥ, ආචාර්ය මාලනී ඩයස්‌ විසින් ශාස්‌ත්‍රීය තොරතුරු ඇසුරින් ප්‍රතික්‌ෂේප කරන ලදී. ව්‍යාජ ශිලා ලිපි කිසියම් ටැක්‌සි රියදුරෙකු විසින් නිර්මාණය කරන ලද බවට සාක්‌ෂි ඇති බවද හෙළිකරන ලදී.

ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ගවේෂණය කර නැතැයි යන දුර්මතය පුරාවවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, ප්‍රාග් ඓතිහාසික සොයා ගැනීම් පිළිබඳ කළ දේශනයෙන් බිඳ වැටිණ. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ප්‍රාග් ඓතිහාසික කැණීම්වලින් රාමායණය පිළිබඳ කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් වී නොමැති බවය.

සීතා අම්මන් කෝවිලක්‌ ඇති බවටද තවත් සාක්‌ෂියක්‌ ඉදිරිපත් වී ඇත. ඇත්ත වශයෙන්ම සීතා අම්මන් කෝවිල තනන ලද්දේ 19 වැනි සියවසේ මෙරටට පැමිණි වතු කම්කරුවන් විසිනි. දශක කිහිපයකට වඩා පරණ නැති තවත් එවන් තැන් සංචාරක ව්‍යාපාර ලැයිස්‌තුවේ රාමායණ මාර්ගය ලෙස සඳහන් කොට ඇත.

මේ ව්‍යාජ විශ්ව බැල්ම ඊළඟට වැටෙන්නේ ලකේගල යෝධ ගල් කුළ මතය. එය රාවණාගේ වාසස්‌ථානය වී යෑයි කියන ඔහු තවත් තැනක ඇති වෘක්‌ෂලතා, හිමාලය පර්වතයෙන් ගෙන එන ලද ඒවා යෑයි ප්‍රකාශ කරයි. මේ සියලු කතා, පිළිගත් විද්‍යාත්මක ප්‍රකාශන මතින් ධනේෂ් විසුම්පෙරුම විසින් බිඳ දමන ලදී. අවසාන වශයෙන් අභ්‍යවකාශයට පිවිසෙන ඔහු ඇමෙරිකාවේ නාසා (භASA) ඡායාරූපයකින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති පාලමක්‌ පිළිබඳ සාක්‌ෂි දක්‌වතැයි කියයි. මේ සියල්ල ඉන්දියාව හා නාසා ආයතනය විසින් ප්‍රතික්‌ෂේප කොට ඇත. "රාවණා ඇත්තක්‌ද? මිථ්‍යා ප්‍රලාපයක්‌ ද?" යන අන්තර්ජාල ප්‍රකාශනයක්‌ ද පළකොට ඇත. මෙය එයත් ඊනියා ගවේෂණ උපයෝගී කොටගෙන නිර්මාණය කළ තවත් අද්භූතජනක කතාන්දරයකි.

ඇත්තටම මෙම ප්‍රබන්ධය ඉපැරැණි කාලයකදී පැවති පියාඹන යන්ත්‍ර පිළිබඳ විශ්මයජනක තොරතුරු හෙළි කරන අතර පුෂ්පක වාහනයේ අනුරුවක්‌ ඇමරිකානුවන් විසින් සාර්ථකව අත්හදා බලන ලදැයි ද සඳහන් කරයි. රාවණාගේ අහස්‌ යානය බැස්‌ස වූ ස්‌ථානය උස්‌සන්ගොඩ හා වර්තමාන වාරියපොල ලෙස හඳුනාගෙන ඇත. විශ්මයජනක තවත් සාක්‌ෂි සංචාරක අධිකාරියේ වෙබ් අඩවියේ දැක්‌වෙයි.

ඉන්දියානු හින්දු මූලධර්මවාදීහු අපේ සංචාරක බලධාරීන්ගෙන් උත්තේජනය ලත් ඉන්දීය හින්දු මූලධර්මවාදී ලිපියක්‌ මෙසේ පවසයි.

"ඉන්දියානු විද්වතුන් මෙන් නොව ශ්‍රී ලංකාණ්‌ඩුව රාමායණය තවදුරටත් මිථ්‍යා සංකල්පයක්‌ නොවේ යෑයි පවසන අතර රාවණා සිටි බව පිළිගනිමින් එය සහතික කරයි. එසේම රාවණා ශ්‍රී ලංකා ඉතිහාසයේ අංගයක්‌ ලෙසද සලකයි. රාවණාගේ මිනී පෙට්‌ටිය මෙන්ම ඔහුගේ අහස්‌යානය වූ පුෂ්පක විමන් සහ රාවණා විසින් භාවිත කරන ලද අහස්‌ තොටුපළවල් පහක්‌ ද සොයාගෙන ඇත"

මෙම හින්දු මූලධර්මවාදී ලිපියෙන් අපේ සංචාරක විශේෂඥයන්ගේ වෙනත් "සොයා ගැනීම්" සහ රාමායණය හෙළා දකිමින් ඉතිහාසයක්‌ නොව මිථ්‍යාවකැයි කී ඉන්දියානු උගතුන්ට බැණ වදී.

ඉන්දියානු සංචාරක බලධාරීන් රාමායණ පුරාවෘතයේ ස්‌ථාන ලෙස හැඳින්වෙන කිසිම තැනක්‌ තම සංචාරක ව්‍යාපාරයට යොදා ගන්නේ නැත. මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා පැහැදිලි කළ පරිදි ආසියානු සංචාරකයන් ඇද ගැනීම සඳහා බෞද්ධ සිද්ධස්‌ථාන සංචාරයක්‌ ඇත. මෙම බෞද්ධ සිද්ධස්‌ථාන ඉන්දියාවේ සොයා ගත්තේ 19 වැනි 20 වැනි සියවස්‌වලදී අපේ සංඝයා වහන්සේලාගේ සහායෙනි. මීට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කරන අපේ සංචාරක ව්‍යාපාර බලධාරීහු තායි ජාතිකයන්ට රාමායණ මාර්ගය අලෙවි කරති. ආචාර්ය හේමා ගුණතිලක සිය කථාවේදී පෙන්නා දුන් පරිදි ඔවුන් කළ යුත්තේ තායි ජාතිකයන් සහ අග්නිදිග ආසියාතිකයන් හොඳින් දන්නා අපේ බෞද්ධ පුදබිම් ඇතුළත් බෞද්ධ සංචාරක මාර්ගයක්‌ වෙත ඔවුන් නැඹුරු කිරීමය.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක්‌ විසින් ප්‍රශ්න කරන ලදුව සංචාරක අධිකාරියේ තවත් අයෙක්‌ කියා ඇත්තේ ඓතිහාසික නිරවද්‍යතාව සොයා බැලීම ඔවුන්ගේ කාර්යය නොවන අතර මිනිසුන් විශ්වාස කරන ස්‌ථාන තම අධිකාරිය විසින් දිරිගන්වන බවය. මෙය හිතුමතේ කරන සත්‍ය වසන් කිරීමකි. මෙකී ස්‌ථාන හඳුනා ගන්නා ලද්දේ සංචාරක අධිකාරියේ නියෝග යටතේය. මෙම සංචාරක මාර්ගය නිර්මාණය කරන ලද්දේ එදා සංචාරක ඇමැතිවරයාව සිටි කොටින්ට ප්‍රදානය කළ සටන් විරාමයේ අනුගාමිකයකු වූ අයෙකි. එයට දෙමළ නිලධාරීන්ගේ උපදේශකත්වය ද ලැබුණි. මෙම කාර්යය 1961 දී එදා සිටි දෙමළ රාජ්‍ය නිලධාරීන් ටික දෙනකුගේ රහසිගත ක්‍රියාකාරිත්වය සිහියට නංවයි. පුලිප් පදායි කොටි හමුදාව නමැති කණ්‌ඩායම බිහි කිරීම ඔවුනගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයයි. එය කොටි සංවිධානයේ උපතට මඟ සැලසීය. සත්‍ය වශයෙන්ම සංචාරකයන්ට පෙන්විය යුතු බෞද්ධ සිද්ධස්‌ථාන පසෙක ලා හින්දු මූලධර්මවාදීන්ට වැදගත් වන ව්‍යාජ ස්‌ථාන සංචාරකයන්ට පෙන්වීම, හිටපු තානාපති බන්දු සිල්වා මහතා කී පරිදි ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට ඉදිරියේදී විශාල ප්‍රශ්නයක්‌ වනු ඇත.

ලිපිකරුවකු වශයෙන් මහජන බැංකුවේදී එදා මා දැන සිටි මහාබෝධි සංගමයේ වර්තමාන බලධාරියෙක්‌ මහත් උජාරුවෙන් සතුටින් ප්‍රකාශ කළේ මෙම ස්‌ථාන ඓතිහාසික ඒවා බවට තම සංවිධානය විසින් ද ප්‍රචාරය කරනු ලබන බවය.

Source:http://www.divaina.com/2010/08/08/feature26.html

0 comments:

Post a Comment

 

Copyright © 2011 Ramayana trail in Sri Lanka | Design by Kenga Ads-template